Image

204

නාරම්බැද්ද සටන, තිසර සංදේශය හා දැදිගම පරාක්‍රමබාහු පිළිබඳ මහජන දේශනය. -ප්‍රසාද් ෆොන්සේකා මහතා-

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය වශයෙන් රටෙහි ස්වෛරීත්වය උදෙසා උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ විවිධ පර්යේෂණයන් රැසක් මෙහෙයවා තිබේ. එහි තවත් එක් පියවරක් වශයෙන් නාරම්බැද්ද සටන, තිසර සංදේශය හා දැදිගම පරාක්‍රමබාහු" යන තේමාව යටතේ 2018 නොවැම්බර් මස පළමුවන දින ප්‍රසාද් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන දේශනයක් සංවිධානය කරන ලදී. මෙහිදී දඹදෙණි සමයේ සිට ගම්පොළ සමය දක්වා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොවිසඳුණු ගැටලු රැසක් නිරාකරණය කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අසංග අබේගුණසේකර, මහාචාර්ය විනී විතාරණ, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මේ සඳහා සහභාගී විය. මහාචාර්ය විනී විතාරණයන් විසින් මෙහි පසුබිම් දේශනය සිදු කළ අතර සාහිත්‍ය ග්‍රන්ථ අධ්‍යනයේදී හමුවන දැදිගම පරාක්‍රමබාහු යනු කවුරුන්ද? තිසර සංදේශය පළමු සංදේශ කෘතිය ද? යන ගැටලු සම්බන්ධයෙන් ප්‍රසාද් ෆොන්සේකා මහතා විසින් කළ අනාවරණය ඔහු විසින් පැසසුමට ලක් කරන ලදී. ප්‍රසාද් ෆොන්සේකා මහතා බෞද්ධයකු නොවුණත් පාලි, ඉතිහාසය, පුරා විද්‍යාව වැනි විෂයයන් පිළිබඳව ඔහු තුළ ඇති හසල දැනුම විනී විතාරණයන්ගේ ඇගයීමට ලක් විය.

        ප්‍රසාද් ෆොන්සේකා මහතා තම දේශනයේදී තම පර්යේෂණ වලදී සොයාගන්නා ලද ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සැඟවී ඇති කරුණු කිහිපයක් හෙළිදරව් කරන ලදී. ඒ අතර දැදිගම පරාක්‍රමබාහු රජු කවරෙක් ද, තිසර සංදේශයේ කියවෙන සටන හා එයට අයත් කාලවකවානු මොනවාද, අස්ගිරි විහාරයේ ආරම්භය, නාරම්බැද්ද සටන හා එහි ඓතිහාසික පසුබිම් හා සටන ආශ්‍රිත ප්‍රදේශ සම්බන්ධව ද කරුණු දක්වන ලදී.

ඒ අනුව තවදුරටත් ඔහු විසින් නාරම්බැද්ද නම් ස්ථානයේ වර්තමාන පිහිටීම, ඒ ප්‍රදේශයේ පැවති පැරැණි මාර්ග පද්ධතිය යුද්ධෝපාය වශයෙන් ස්ථානයේ වැදගත්කම ආදිය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා රාජාවලිය තුල වර්ෂ 1196 නිශ්ශංකමල්ල රජුගෙන් පසුව කාලිංග මාඝ (1213) දක්වා වසර 17 තුළ රජවරුන් දස දෙනෙක් රජකම් කළ අතර මේ නිසා රට අතිශය අස්ථාවර තත්ත්වයක පැවතුණි. ඒ හේතුවෙන් ආක්‍රමණ රැසකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදු වූ බව ඔහු විසින් පෙන්වා දෙන ලදී. අස්ථාවර රාජ්‍යයක් තුළ වෙනත් රාජ්‍යයන්ගේ බලපෑම් බහුලව ඇති විය හැකි බව පෙන්වා දුන් ඔහු එය වර්තමාන රාජ්‍යතන්ත්‍රය කෙරෙහි ද අතිශය වැදගත් වන බව පැහැදිලි කරන ලදී.

මේ කාලයේ ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මූලාශ්‍රය යම් යම් කරුණු සම්බන්ධයෙන් අසම්පූර්ණ විග්‍රහයන් ඉදිරිපත් කර ඇති අතර අතිශය වැදගත් සිදුවීම් ඒ තුළින් ගිලිහී ඇති ආකාරය පැහැදිලි කළ ඔහු ඒ නිසාවෙන්ම දැදිගම පරාක්‍රමබාහු සහ ඒ කාලයේ සිදුවූ ආක්‍රමණය පිළිබඳව නොසලකා හැරීමක් සිදුව ඇති බව පෙන්වා දුනි. නාරම්බැද්ද ලිපියේ සඳහන් ‘මායාරජය නසන්නට ආ දෙමළුන් පරාජය කොට’ යන පාඨය අනුව නාරම්බැද්ද සටන සිදුවූ කාලය පිළිබඳ තහවුරු කරන ඔහු පුජාවලියේ සහ චූලවංසයේ දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ මෙවැනි ආක්‍රමණයක් සටහන්ව නොමැති බවත්, තුන්වන පරාක්‍රමබාහු මායා රටේ රජකම් නොකළ නිසා මෙම සටන ඔහුගේ කාලයේ සිදු නොවිය හැකි බවත් ප්‍රකාශ කළේ ය. එසේම හයවන පරාක්‍රමබාහු රජු ගේ කාලයේ ද මෙවැන්නක් ගැන සංදේශ කාව්‍ය ආදියෙහි සඳහනක් නැත. ඒ නිසා එම ආක්‍රමණය පස්වන පරාක්‍රමබාහු හෝ හතරවන පරාක්‍රමබාහු යන රජවරුන්ගේ කාලය විය යුතු බව ඔහු විසින් පෙන්නා දෙන ලදී. කෙසේ නමුත් කුරුණෑගල හෝ ගම්පොළ සමයන්ට අයත් බවට තහවුරු කර ඇති සෙල්ලිපියේ සඳහන් ජයග්‍රහණය ම සොහොයුරන්වූ රජුන් දෙදෙනෙකුට බිසව වූ විහාරමහාදේවීය ගේ මඟුල්මහ විහාරයෙන් හමුව ඇති ලිපි දෙකක සඳහන්ව තිබීම නිසා මේ ආක්‍රමණය පරාජය කළ රජු නිසැකවම හතරවන පරාක්‍රමබාහු බවට නිගමනය කළ හැකි බව සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී.

තවද තිසර සංදේශය සහ නාරම්බැද්ද සටන අතර සබඳතාවය පිළිබඳ කරුණු දක්වමින් ප්‍රසාද් ෆොන්සේකා මහතා කියා සිටියේ තිසර සංදේශය අනුව එකල සිටි අගමැතිගේ නම සේන බවත් නිකාය සංග්‍රහය අනුව සේන ගම්පොළ සමයේ මුල්කාලයේ අගමැතිව සිටි බවත් ය. තිසර සංදේශය පැරකුම්බා නම් රජෙකුගේ හා සේන නම් අගමැතිවරයෙකුගේ කාලයේ ලියා ඇති බැවින් එය හතරවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ ( 1325-33) ලියා ඇති බවත් එකල අගනුවර කුරුණෑගල බවත් පෙන්වා දෙන ලදී. එසේම සතුරා ක්‍රමයෙන් කුරුණෑගල දෙසට පැමිණෙන විට රජු දැදිගමට පලාගොස් ඇති අතර සතුරා දැදිගමටද පහර දීමට පැමිණෙනවිට ඔවුන් මහ ඔය තරණය කරන අවස්ථාවේදී පරාජය කර ඇත. දළදා පාත්‍ර ධාතූන් වහන්සේ ද මහා සංඝයා ද ශාසනයද රැකුණු නිසාවෙන් රජු විසින් එය සිහි කිරීමට සේල විහාරය සහ පිරිවෙනක් ගොඩනගා ගම්වරයක් පූජා කර ඇති බව සෙල්ලිපියේ සඳහන් වන බවට පෙන්වා දෙන ලදී. තිසර සංදේශය ලියා ඇත්තේ දැදිගම විසූ හතරවන පරාක්‍රමබාහු රජුට මෙම සටනින් ජය ගැනීම සඳහා උත්පලවන්න දෙවියන්ගෙන් (විෂ්ණු දෙවියන්ගෙන්) ආශිර්වාද ලබාගැනීමට කරන ලද ආයාචනයක් ලෙස බව පෙන්වා දෙනු ලැබීය. මෙම නාරම්බැද්ද සටනේ වැදගත්කම් ඉදිරිපත් කළ ෆොන්සේකා මහතා මේ හේතුවෙන් විශාල විනාශයක් විය හැකිව තිබුන රට නැවත දකුණු ඉන්දීය යටත් රාජ්‍යයක් වීම වැලකුන බවත්, දළදා පාත්‍රා ධාතුන් ද සංඝයාද ශාසනයද ද ආරක්ෂා වූ බවත්, ඒ නිසා ඉතා වැදගත් කෘති දෙකක් වූ දළදා සිරිත හා පන්සිය පනස් ජාතකය මේ රජුගේ කාලයේ ලියවුනු බවත් පෙන්වා දෙන ලදී. මේ යුද්ධය පරාජය වූයේ නම් එම කෘති බිහි නොවීමට ඉඩ තිබින. විනාශවූ දළදා මැදුර වෙනුවට තුන් මහල් දළදා මැදුරක් ද රජු විසින් ඉදිකර ඇත. එසේම මේ ආක්‍රමණය නිසා පලා ආ ජනතාවට හා භික්‍ෂුන් වහන්සේලාට තම බෑණා වූ සිරිවර්ධන නම් කුමරා ලවා, පසුව සෙන්කඩගල නම්වූ ශ්‍රී වර්ධන නම් නුවරක් තනවා ඒ භික්‍ෂුන්ට විහාරයක් තනවා දුන්නේ ය. යාපහුව අසල වලස්ගල නම් කඳුකර ආරණ්‍යයෙන් භික්‍ෂුන් පැමිණි හෙයින් ඒ විහාරය අස්ගිරි විහාරය යයි ව්‍යවහාරයට පැමිණ තිබේ. එසේම ඒ භික්‍ෂූන් මුලින් වැඩවාසය කොට ඇත්තේ අනුරාධපුර ථූපාරාමයේ හා දිඹුලාගල ය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අපේ උරුමයන් අප විසින් ආරක්ෂා කරගත යුතු අතර ඒවා සංරක්ෂණය කර මතු පරම්පරාවට දායද කළ යුතු බව ය. ශ්‍රී ලංකාවේ දැනට සිදුවන පුරාවස්තු සංහාරය පිළිබඳ නිදසුන් ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ මෙම විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය මැදිහත් වීම අත්‍යාවශ්‍ය බවත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය වශයෙන් මේ සඳහා වගකීමක් ඇති බවත්, ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත්ය.

නාරම්බැද්ද සෙල්ලිපිය නිදන් හොරුන් විසින් විනාශ කර ඇති බව කී ඒ මහතා වේගයෙන් විනාශ වන පුරාවිද්‍යාත්මක ස්ථාන වශයෙන් මාන්තොට බලකොටුව, තිස්සමහාරාමයේ අකුරුගොඩ, යාපනයේ කන්දරොඩෙයි, නැගෙනහිර කුච්චවේලි වැනි ස්ථාන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු ප්‍රකාශ කරන ලදී. සිය දේශනය අවසන් කරමින් ඔහු තවදුරටත් අවධාරණය කළේ සියලු දෙනාගේම යුතුකම අපේ අනන්‍යතාව රැකගැනීම උදෙසා කටයුතු කිරීම බවත් එය ජාතික වගකීමක් බවත්ය.

අවසාන වශයෙන් මෙම දේශනය හා සැසිය නිමා කරමින් අසංග අබේගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ මේ සියලු කරුණු ඇතුලත් සවිස්තර වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන බවත් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය වශයෙන් ජාතික උරුමයන් ආරක්ෂා කිරීම උදෙසා ගත යුතු සියලු පියවර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්ය .

 

මෙම මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකාර වරුණි මධුභාෂිණි විසින් සකසන ලදී.