Image

ජාතීන් අතර සහජීවනය ඇති කරන්නේ කොහොමද?

ජාතීන් අතර සහජීවනය ඇති කරන්නේ කොහොමද?

තිස් වසරක සිවිල් යුද්ධය අවසන් වී වසර අටක් ගත වී අවසන් වුවත් ලංකාව වර්තමානයේදී මුහුණ පා සිටින ප්‍රධානතම දේශපාලන අභියෝගය වන්නේ සිංහල දෙමළ මුස්ලිම් යන ප්‍රධානතම ජනවාර්ගික ජාතීන් අතර අන්තර් සහයෝගීතාවයක් ඇති කිරීමයි.  ඒ අනුව රට තුළ සංහිඳියාවක් ඇති කල යුතු බව සත්‍යයක් වුවද එය ක්‍රියාවට නැගිය යුතු අකාරය පිළිබඳව නිසි ආකාර සැලැස්මක් හෝ අවබෝධයක් වර්තමාන ආණ්ඩුවට නොමැති බව මෙ වන විට පසක් වී හමාරය.

සංක්‍රාන්තික යුක්තිය (Transitional Justice)

අතීතය සම්බන්ධයෙන් සාමදානයට පත් වීමට සහ අවශ්‍ය වෙනස්කම් වලට මුල පිරීමට හැකි අයුරින් වින්දිතයන්ගේ හා හානියට පත් ප්‍රජාවගේ විශ්වාසය වර්ධනය කිරීමට එවැනි පියවර මගින් හැකියාව ලැබේ. මෙහිදී ආණ්ඩුව වගවීමේ ක්‍රියාවලියට කැප වී සිටින බවට බලපෑම් කිරීමේ වගකීම සිවිල් සමාජය විසින් භාර ගත යුතුය වේ. නිරන්තර අධීක්ෂණය, සමාජය සංවිධානය කිරීම, අවශ්‍ය අවස්ථා වලදී මහජන සුභසාධන නඩුකර පැවැරීම ආදී විවිධ උපක්‍රම භාවිතා කරමින්  මෙම බලපෑම සජීවීව පවත්වා ගෙන යාම කල යුතු වේ. මේ සියල්ලන්ටම පෙර විශේෂයෙන්ම සංක්‍රාන්තික යුක්තිය ඉටු විය යුතු මෙවන් වූ කාලයක මහජනයා දැනුවත් කිරීම විශාල වශයෙන් සිදු විය යුතු වේ.

සංක්‍රාන්තික යුක්තිය තුල සමාව ගැනීමේදී අව්‍යාජත්වය, සෘජු ස්වභාවය, වරද නිසිආකාරව පිළිගැනීම යනාදී කරුණු වලින් පරිපුර්ණ විය යුතුය.  මෙය මුලික වශයෙන්ම මානව හිමිකම් සමගම බැඳි පවතින්නක්. ගැටුම්කාරී තත්වයන් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකුට බලපාන ප්‍රධානතම, දරුණුතම, අවාසනාවන්තම හා විශාලතම  ප්‍රතිඵලය ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම හැඳින්විය හැකිය. මානව හිමිකම් යන්නෙන් අදහස් කරන්නේ සෑම මනුෂ්‍යයෙකුටම සමානව සැලකිමේ අයිතිවාසිකම ඇත යන්නයි. ගැටුම් අවස්තාවන් වලදී මානව හිමිකම් උල්ලන්ඝනය සිදු විමෙන් පසුව වින්දිතයන්ට තමන්ට අත්විඳීමට සිදු වූ හානිය වෙනුවට හිමි විය යුතු යුතුකම් රැසක් තිබේ. පවතින අධිකරණ වගේම අධිකරණමය නොවන ව්‍යූහයන් මගින් ඒ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම ලබා දීමට නොහැකි වෙන නිසා ඒ සඳහා මෙම සංක්‍රාන්තික යුක්තිය තුලින් වැඩි අවධානයක් යොමු කරනු ලබන අතර මේ කාලය තුල ඊට සුදුසු විධිවිධාන ක්‍රියාත්මක කල යුතු වේ. ඇත්තෙන්ම ජාත්‍යන්තර නීතිය තුල  සංක්‍රාන්තික යුක්තිය වැදගත් අංගයක් බවට පත් වි ඇති අතර එය කල් පවතින සාමයක් ලඟා කර ගැනීම සඳහා ගැටුම් අවස්තාවන් පරිණාමනය කිරිමට යොදා ගනු ලබන යාන්ත්‍රනවල එකතුවක් ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් යෝජනා සම්මතයන් මගින් පිළිගෙන තිබේ. යුක්තිය ඉෂ්ට කිරීම, වන්දි ගෙවීම හෙවත් හානි පුරණය කිරීම, සත්‍ය හෙළි කිරීම, සංහිදියාව ගොඩනැගිම හා නැවත මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදුනොවන බවට සහතික වීම යනාදිය සංක්‍රාන්තික යුක්තිය තුල ප්‍රභේදයන් එසේ  නැතහොත්  අභිප්‍රායන් ලෙස හැඳින්විය හැකිය.

මාලත් අත්දැකීම්

මා කැලණිය විශ්ව විද්‍යාලයේ සාමය හා ගැටුම් නිරාකරණය උපාධිය හදාරනු ලැබූ අතර සංහිඳියාව, සංක්‍රාන්තික යුක්තිය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික අනන්‍යතාවය යනාදී වචන අපට හුදෙක් වචන වලට පමණක් සීමා වුවක්ම  නොව, එය වසර හතරක් පුරාවටම අප න්‍යායාත්මකව ඉගනගත් හා උපයාගත් දැනුමයි. නමුත් ප්‍රායෝගික සමාජය දෙස බැලු කල්හි න්‍යායාත්මක හා ප්‍රායෝගික තත්ත්වය අතර ඇත්තේ අහසට පොළව මෙන් වූ විසල් පරතරයකි. රටෙහි තත්වය කෙසේ වුවත්, විශ්ව විද්‍යාලහි අපගේ අධ්‍යයන අංශය තුල සෑම ජන වර්ගයකටම අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගනුම ලබයි. විශ්ව විද්‍යාල ජීවිතයේ අවුරුදු හතර පුරාවටම මම මාගේ නේවාසිකාගාර කාමරය තුල ප්‍රධාන ජන වර්ග තුනටම අයත් යෙහෙලියන් සමග එකට වාසය කලෙමි. ඒ කාලය පුරාවටම එකම වර්ගයේ අය එකට විසු කාමරවලට වඩා විවිධ වර්ගවලට අයත් අප කාමරයේ පිරිස ඉතාමත් සමගියෙන් කාලය කළෙමු. ජාති වශයෙන් ආගම් වශයෙන් අප අතර විවිධ වෙනස්මක් වුවද ඒ සියල්ල අපගේ මිතුරුකම හා අන්‍යෝන්‍ය සහයෝගීත්වය හමුවේ නොතකා හැරිය හැකි විය. අලුත් අවුරුදු, වෙසක්, තෛපොංගල්, නත්තල්, රාමසාන් සියල්ලක්ම අපේම උත්සවයන් සේ  වූ අතර විවිධ මතවාද, ඇදහිලි, විශ්වාසයන් අප අතර ඇති කරනු ලැබුවේ විවිධත්වයක් නොව එකීයත්වයකි. අප එකිනෙකාගේ එම වෙනස් සංස්කෘතීන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර හා වතාවත්  පිලිබඳ ඉගන ගැනීමට ඉමහත් ඇල්මක් දක්වුයෙමු. ඒ තුලින් ඇත්තෙන්ම සිදු වුයේ අනෙකුත් ජාතීන් පිළිබඳව සිත තුල වූ ආකල්පය හාත්පසින්ම වෙනස් වීමයි.

කල හැක්කේ කුමක්ද?

වාර්ගික, ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා බහු මාර්ග ප්‍රවේශයක් යොදා ගත යුතුය. වත්මනෙහි  අප රට තුල පවතින තත්වය සලකා බැලු විට පෙනී යන්නේ පළමුව වෙනස් කල යුත්තේ අන් කිසිවක් නොව මිනිසුන් තුල තිබෙන්නාවූ අනෙකුත් ජාතීන්, ආගම් හා වර්ගයන් හෙලා දැකීමේ  චින්තනය හෙවත්  අධිමානයයි. එනම් ප්‍රධාන වශයෙන්ම ඔවුන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නැගීමක් සිදු කල යුතුයි. මෙම ක්‍රියාවලිය තුල ඉතා වැදගත් වන්නේ ඉදිරියට දෙපාර්ශවය අතර සම්බන්ධතා මැනවින් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න සහ නැවත එවන් තත්වයන් මතු නොවෙන ලෙස ක්‍රියා කිරීමයි. පසුගිය දා රට තුල සිදු වූ අවුල් වියවුල් සියල්ලක්ම දෙස විමසුම් ඇසකින් බැලු විට පෙනී යන්නේ සියලුම දෙනාට ජාති, ආගම්, කුල භේදයකින් තොරව ජීවත් විය හැකි වුවත්, ඔවුන්ගේ චින්තනය වන්නේ තමා හැර අනෙකුත් වෙනස් ජාතීන් සමග එකට එක්ව වාසය කල නොහැක යන්නයි. එහෙයින් පළමුව සාත්තු  කල යුත්තේ ගසෙහි මූල කොටසටයි.  එනම් පුද්ගල මූල විසඳුමකටයි. 

එමෙන්ම ලංකාව තුල පවතින ප්‍රධානතම දුර්වලතාවය වන්නේ අපට නිවරදි ඉලක්කයක් නොමැති වීමයි. දේශපාලන නායකයන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීම  උදෙසා කාලෙන් කාලෙට පැති  මාරු කරගනිමින් ජනතා ඡන්දය වෙනුවෙන් පමණක්ම වෙහෙසෙයි. මෙම අර්බුදය තව තවත් උත්සන්න කරනු ලබන්නේ හුදෙක් දේශපාලනික අරමුණු සහ ජාතිවාදී බීජ වපුරා ඉන් ඵල නෙළා ගන්නා ඇතැම් කොටස් විසිනි. උතුරේ අවතැන් වුවන්, අතුරුදහන් වුවන් හා දෙමල ජනතාවගේ ඉඩකඩම් පිළිබඳව මේ වන තුරුත්  හරියාකාර විසඳුම් ඉදිරිපත් වී නොමැත. රජය මෙම ප්‍රශ්න සඳහා ගෙන ඇති පියවරයන් කොතරම් දුරට සාර්ථක වී ඇත්ද යන්නත් ගැටළු සහගතය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මගින් සමාජයේ සැකැස්මට හානි සිදු වේ. එමගින් වින්දිතයන්ට වන හානි ගණන් නොගෙන සිටීම තුලින් සමාජයේ පවතින භේද දිගින් දිගට ම පවතින අතර රජයේ ආයතන හා සමාජ කණ්ඩායම්  කෙරෙහි  මහජන  විශ්වාසය අඩු වීමක් සිදු වේ. එය තවදුරටත් ගැටුම් වර්ධනය වීමට පවා හේතු විය හැකියිඒ නිසා සංක්‍රාන්තික යුක්තිය මගින් වින්දිතයන්ගේ අයිතීන්වලට පිළිගැනීමක් ලබා දෙන අතර ම සිවිල් ජනතාවගේ විශ්වාසය ප්‍රවර්ධනය කර ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආධිපත්‍ය සවිමත් කරනු ලැබේ. 

මෙහි ලේඛිකාව ජාතික ආරක්‍ෂක  අධ්‍යයන ආයතනයේ  පර්යේෂණ සහායිකා උදේශිකා  ජයසේකර මෙනවියයි. මෙම ලිපිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය හෝ INSSSLහි ස්ථාවරය පිළිබිඹු නොවේ.